60 ගැන
හැටේ දශකය යනු ගෙවුණු සියවසේ ලොව පුරා තරුණ ආකල්පයන්ගේ වඩාත්ම විප්ලවකාරි දශකයයි. වයසක් සේ ගත් කළ හැටේ දශකය යනු ජීවිතය අලුතින් ආරම්භ වන දශකයයි. රාජකාරිවලින් විශ්‍රාම ලබන්නට නියම වන්නේ 60 දශකය ආරම්භයේමය.
ඉතින් අලුතින් ජිවිතයට විටමින් වුවමනාය. ඇත්තටම හැට යනු අලුත්වීමය. මේ ප්‍රවෘත්ති හා විශේෂාංග අන්තර්ජාල අඩවියට 60යැයි නම තැබුවේ ඇයි දැයි ඔබ අසන්නේ නම් එයට දිය යුතු නිසි පිළිතුරක් නැත. එය හැටට හැටේ වේගයෙන් යෑමේ අවශ්‍යතාවක් නිසා නොව සියලු දේ ගැන විමසා බැලීම සඳහා සන්සුන්ව කළ අදහසකි. දශක ගණනාවක් මුළුල්ලේ ලියා තැබූ දේ ද නොලියූ දේ ද සයිබර් අවකාශයට යොමුකළ යුතුයැයි අදහසක් පහළවූයේ දිගු කලක පටන්ය. එහෙත් එය ක්‍රියාත්මක කරන්නට කල් ඇරියේ අලස කම වඩා වැදගත් හෙයින්ය.
ලෝකය වඩා තාක්ෂණයෙන් දියුණු කරන්නට අවශ්‍යවූයේ ක්‍රියාශිලි මිනිසුන් අතලොස්සක් වෙනුවෙන් නොවේ. අප වැනි හද්දා කම්මැලියන්ගේ අවශ්‍යතාවන්ට පින්සිදුවන්නටය. කම්මැලි කමක් නොවුණු නම් රෝදයක් නොසොයා පයින් යන්නට මිනිසුන්ට හොඳටම ඉඩ කඩ තිබිණ. ගිනිපෙට්ටි නොහදා ගල් කැට දෙකක් අතුල්ලා ගින්දර මවන්නට තීබණ.
කලකට ඉහත මා ලේක්හවුස් ආයතනයේ සේවය කරන අවධියේ එහි සිටි දක්ෂ ලේඛකයකු මෙන්ම චිත්‍ර ශිල්පියකු ද වූ තිස්ස කුමාර මිතුරා සමඟ මගේ මෙහෙම සංවාදයක් විය. කවදාක හෝ දවසක මට පුටුවේ වාඩි වී ඉන්න ගමන් මේ හිතන දේ ඉබේ ලියැවෙනවා නම් මා කැමතිය. චිත්‍ර සිතන විධියට ඇඳෙනවා නම් කැමතිය. ගමනක් නොයා, කාර්යාලයට නොපැමිණ සියලු රාජකාරි පුටුව මතට වී ඉන්නා විට සිදුවනවා නම් මා කැමතිය. එය ඇසූ තිස්සයා මේ තරම් කම්මැලි කතාවක් ජීවිත කාලයට නොඇසූවේ යැයි දිවුරා සිටියේය.
තරමක් හෝ නමක් දිනා ගත් පසු මා කිසිවකු විසින් ලිපියක් ලියා දෙන්නැයි ආරාධනා කළ කරන්නේ මා කියන කතාව කිසිවකු ලවා පිටපත් කරවා ගැන්මය. අද තිස්ස මෙන්ම මා ද ලේක්හවුස් ආයතනයේ නැත. තිස්ස මට පෙර සේයෙන් ඉවත්විය. මම දැනට තුන් වසරකට පෙර නිසිකල්හි විශ්‍රාම ගියෙමි.
දෙවසරකට පෙර මා යූටියුබ් නාලිකාවක් ආරම්භ කරන ලද්දේද සිනමාව ගැන මගේ ඇල්ම නිසාය. කම්මැලිකමටත් එක්කය. ලියන කියන දේ පොත් පත් වශයෙන් හෝ පළ කරන්නටයැයි මගේ මිතුරෝද මා ගැන දන්නා උදවිය ද වරින්වර මට පැවසුවත්. ඇිත කම්මැලි කම නිසා ම ඒ් වැඩය අතහැරියෙමි. මා ලියන දෑ පිටපත් කර ගන්නට කිසිවක් හෝ නැත.
දැන් ලෝකය මා ප්‍රාර්ථනා කළ අන්දමට හැඩ ගැසෙමින් තිබේ. ලියන්නට වුවමනා නැත. කියවන විට ලියා ගන්නා දුරකතනයක් ඇත. අවසානයේ හරිවැරිද පමණක් පිරික්සා ගත් හැකිය. ඒ් මා එකල ප්‍රාර්ථනා කළ ලෝකයය.
ඉතින් මේ 60 නිම්න ඇරඹෙන කටයුත්ත අලස කම ට තෑග්ගකි. මට පමණක් නොව ඔබටත් එයට ඉඩ තිබේ. හැට යනු වීර වික්‍රමාන්විත අංකයකි. මෙහි මෙතෙක් ලියැවුණු දේ පමණක් නොව අලුතින් සිතන දේ ද අකුරු වී ඔබ හමුවනු ඇත. පිලිතුරු ලියන්නට පමණක් නොව අුලතින් මෙහි ලියන්නට ද ඔබටත් අවසරය ඇත.
එය එක විෂයකට සීමාවක් වන්නක් නොවේ. හිතෙන දේ ගැනය. හිතුන දේ ගැනය.
නිකම් සිටිනා ඔළුව යකාගේ කම්මලක් වගේයැයි ඒ් කාලයේ අපේ අම්මා පවසනවාය. ඉතින් හැට අපටය. හැටට පණ දෙමු. එන්න මගේ පිය මිතුරෝ.
ඉතින් මේ සෙල්ලිපි මාලාවට 60යැයි කියා නම තිබ්බේ ඇයි? ආයෙත් සනවාද? දැන් එයට පිළිතුරු දෙන්නට කම්මැලිය.
අරුණ ගුණරත්න
