මෙරට සිනමාවේ අතිශය වැදගත් දිනයක් වනුයේ මැයි මස දහනම වැනිදාය. මෙරට සිනමා ඉතිහාසයේ අපට හමුවන මුල්ම දේශිය සිනමාකරුවා වනුයේ සී. දොන් එඩ්වඩ් ය. එඩිවඩ් විසින් නිර්මාණය කරන ලද එකම චිත්‍රපටය පළිගැනීම 1936 වසරේ මැයි මස 19 වැනි දා කොටහේනේ පැවැති ගෙයිටි සිනමාහලේ තිර ගත වූයේය. 1925 වසරේ නිර්මාණය වූ මුල්ම දේශිය චිත්‍රපටය වන රාජකීය වික්‍රමය හෙවත් ශාන්තා මෙරට තිර ගත නොවිණ. එයට පසු තැනෙන මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහලේ තිර ගත වන රොමානිස් ගේ ආදරය චිත්‍රපටයේ අධ්‍යක්ෂ කවුරුන්දැයි අපට නිශ්චය කර ගත නොහැකිය. එහෙත් පළිගැනීම චිත්‍රපටය මෙරට තිර ගත වූ අන්දම මෙන්ම එහි අධ්‍යක්ෂ කවුරුන්දැයි සොයා ගත හැකිය. එහි රඟපෑ බොහෝ නළු නිළියන් ද අපට හදුනාගත හැකිය. පළිගැනීම චිත්‍රපටය පිළිබද මට මුල් වතාවට සරසවිය පුවත්පතට ලියන්නට ඉඩ ලැබුණේ අහඹු සිදුවීමක් සමඟය. ඒ් 1998 වසරේ පමණය. මට පැරණි ගී තැටි එකතු කරන්නෙකු මෙන්ම සිනමා කෘති කිහිපයක අතිරේක නළුවෙකු ලෙස කටයුතු කළ සුරේන් වික්‍රමසිංහ මුණගැසිණ. පැරණි අතීතය සොයා යන්නට මගේ තිබුණු ආසාව නිසාම ඔහු ද මා ත් අතර මිත්‍රත්වයක් ඇතිවිණ. එකල අවිවාහක මා ජීවත්වූයේ බොරැල්ලේ ය. සුරේන් අප නිවසට නිතර ආ ගියේය. වතාවක පැරණි කතන්දර තොගයක් මැද පළිගැනීම චිත්‍රපටය ගැන මගෙන් කියැවිණ. සුරෙන් එකවරම අදහා ගත නොහැකි පුවතක් පැවසුවේය. ඒ් පළිගැනීම චිත්‍රපටය ගැනය. සුරේන් දොන් එඩ්වඩ් ගේ බාල පුත්‍රයාය. එයින් දින කිහිපයකට පසු සුරේන් මා සමඟ ඔහු ගේ මව හමුවට ගියේය. ඇය එකල ජීවත්වූයේ යක්කලට නුදුරු නිවහනකය. එඩ්වඩ් ගේ භාර්යා වූ ඇය පළිගැනීම චිත්‍රපටය පිළිබඳ බොහෝ කරුණු පැවුසවාය. මම ඒ් පිළිබඳ සරසවිය පුවත්පතට ලිවුවෙමි. තවත් වසර ගණනාවක් ගත විය. සිනමා හා සංගීත. ඉතිහාසයේ බොහෝ දේ සඟවා ගෙන සිටින සමරවීර ජයතුංග මට නෑයෙකුවූයේ මගේ භාර්යාව ගේ පැත්තෙනි. ඔහු මට තවත් අපූරු හෙළිදරව්වකට මගැපෑදුවේය. ඒ් එඩ්වඩ් ගේ වැඩිමහල් පුතුන් සොයා දෙමින්ය. මේ හමුව තවත් කරුණු රැසක් හෙළි කළේ ඒ් අතරින් වැඩිමහල් පුත්‍රයා පළිගැනීම චිත්‍රපටයට සිදුවූ දේ දැන සිටිමය. ඔහු චිත්‍රපටය නරඹා තිබිමය. මේ සංවාදය අපේ සිනමා ඉතිහාසයේ සැඟවුණු පැතිකඩක් හෙළිදරව් කරන්නට සමත්වෙයි.
-අරුණ ගුණරත්න
