‘මැන්ඩෙලා’

හිමිදිරි පාන්දර පිල් කඩක නිදා සිටි මිනිසෙකු හෙමින් සැරේ නැගිට එතැනම වූ දිය බඳුනකින් මුහුණ සෝදා තවත් වතුර සෙම්බුවක් ගෙන අසල තල් ගසින් පිරි කැලයකට වදී. ඒ ශරීරකෘත්‍ය සඳහාය. එහි තැනින් තැන ඔහු වැනිම තවත් අය අඳුරේ එම කටයුත්තට සැරසෙනුයේ හිරු පායා ගත් පසු එය කරන්නට තැනක් නැති හෙයිනි. එහෙත් එකවරම විදුලි පහන් එළියක් වදින්නෙ රථයකිනි. එය කුමක්දැයි වටහා ගත නොහැකි වුවත් මේ පිරිස එම රථයට නංවාලන්නේ කරන්නට පැමිණි කාරණය පසෙකලමිනි. එයට ගැමියන්ගෙන් එළඹුණු විරෝධය කිසිවකුට හෝ වැදගත් නැත.

හිරු එළිය වැටීගෙන එද්දී ඔවුන් බස්වසනු ලද්දේ අලුත් පුවරුවක් ඉදිරිපිටය. පිරිසිදු ඉන්දියාවක් යන මැයෙන් අග්‍රාමාත්‍ය මෝදි විසින් අරඹන ලද ගම්මානවලට වැසිකිලි සැපයීමේ ව්‍යාපෘතියක් යටතේ ඉදිකරන ලද වැසිකිලියක් විවෘත කිරීමේ මහෝත්සවයකි. එයට සියල්ල සූදානම්ය.

මේ ගම්මානයේ උතුර සහ දකුණ ලෙස ජීවත්වන වනුයේ කොට්ඨාශ දෙකකි. කුලයන් දෙකකි. දකුණේ තරුණ නායකයා වැසිකිළිය සිය ගම්වාසීන් උදෙසා විවෘත කරන්නට සැලසුම් කරයි. උතුරේ තරුණ නායකයා එයට විරුද්ධව ඒ අයිතිය තම පිරිසට බව පවසයි. මේ අතර ගමේ උත්සවයට එළැඹෙන්නට සැරසෙන පැරණි වයෝවෘද්ධ නායකයා නැතහොත් වැඩිහිටියා කරුණාධරන් පෙරියර්ය. ඔහු අඳින්නට සැරසෙන වේට්ටියේ මොකක්ද ගෑවී ඇත. එය සෝදන්නට එන්නේ එක් භාර්යාවකි. ඇය එය සෝදා හැර යළි වේට්ටිය ඔහු අතට දෙන්නේ තම පුතුගේ දේශපාලන අනාගතය ගැන සිහිපත් කරමිණි. එසැණින්ම එය උදුරා ගන්නා තවත් ගැහැණියක් එය හොඳින් මැද ආපසු ලබා දෙන්නේ තම පුතුගේ අනාගතය ගැනද සිහිපත් කරමින්ය. අනතුරුව මේ ගැහැණුන් දෙදෙනා එකම අසුනක වාඩිවී හරි බැරි ගැහෙනුයේ ටෙලි නාට්‍යයක් නරඹන්නටය.